Friday, February 7, 2025
Homeපුවත්දේශපාලනයසර්වජන බලය උපාය මාර්ගික වැඩපිළිවෙළේ පළමු කෙටුම්පත එළිදක්වයි..

සර්වජන බලය උපාය මාර්ගික වැඩපිළිවෙළේ පළමු කෙටුම්පත එළිදක්වයි..

සර්වජන බලය සන්ධානයේ උපාය මාර්ගික වැඩපිළිවෙළ යටතේ පළමු කෙටුම්පත ජනතාව හමුවේ එළිදැක්වීම අද (06) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේදී සිදුකෙරුණි.

අවසන් සැලැස්ම එළිදැක්වීම සිදු කරන්නේ මේ සඳහා ජනතා අදහස් එක්කර ගැනීමෙන් පසුවය.

”සතුටු දැයක් – ව්‍යවසායකත්ව රාජ්‍යයක්” යන්න මෙම වැඩපිළිවෙළේ තේමාවය.

සර්වජන බලය, උපාය මාර්ගික වැඩපිළිවෙළේ ජනතා සංවාදය උදෙසා ඉදිරිපත් කෙරෙන පළමු කෙටුම්පත එළිදැක්වීම මෙය වෙයි.

මෙම අවස්ථාවට සර්වජන බලය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල නායකයන් එක්විය.

සෑම ක්ෂේත්‍රයකම ක්‍රියාත්මක කිරීමට යෝජිත සංශෝධන මෙම උපායාමර්ගික වැඩපිළිවෙළ තුළ විස්තරාත්මකව ඇතුළත් කර තිබේ.

අධ්‍යාපන සැලැස්ම යටතේ සහජ ශ්‍රී ලාංකේය සාරධර්ම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් ශක්තිමත්, ගතික සහ නව්‍ය අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත.

සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍ය රැකවරණයක් සහතික කෙරෙන ක්‍රියාශීලී කළමනාකරණය හා තාක්ෂණය මත පදනම් වූ සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රතිපත්ති සමූහයක් යෝජිතය.

සුහුරු පාලනය අනිවාර්ය අංගයක් බවට පත්වන උසස් තාක්ෂණික ප්‍රවේශයක් සමගින් ශක්තිමත් පරිපාලන පද්ධතියක් රාජ්‍ය පරිපාලනය ශක්තිමත් කිරීම සඳහා යෝජනා කර තිබේ.

සර්වජන බලය උපාය මාර්ගික වැඩපිළිවෙළ තුළ ජාතික ආරක්ෂාවට ඉහළ තැනක් හිමි වන අතර ඒ අනුව රාජ්‍යතාන්ත්‍රික භාවය, බුද්ධි තොරතුරු සහ තාක්ෂණය මත පදනම් වූ ඒකාබද්ධ ආරක්ෂක උපායමාර්ගයක් ඔස්සේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහතික කිරීමට අපේක්ෂිතය.

සර්වජන බලයේ ආර්ථික සැලැස්ම වන්නේ ව්‍යවසායකත්වය, නවෝත්පාදනය සහ උපායමාර්ගික ආයෝජන මගින් මෙහෙයවනු ලබන ගෝලීය වශයෙන් තරගකාරී, ගතික, අභියෝගයන්ට මුහුණ දිය හැකි නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීමය.

මෙහිදී ජනතාව තුළ ඇති යැපුම් මානසික්තවය දුරුකරමින් ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය මගින් පුරවැසියන් සවිබල ගන්වන යාන්ත්‍රණයක් ඇතිකිරීමෙන් සමාජ සුබසාධනය තහවුරු කිරීමට යෝජනා කර තිබේ.

කෘෂිකර්ම වැඩපිළිවෙළ යටතේ නාස්තිය අවම කරමින්, නැවුම් තාක්ෂණය මුසු කරමින් ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය හා නිෂ්පාදන ඵලදායිතාව ඉහළ නැංවීමට අපේක්ෂිතය.

එසේම නවෝත්පාදනයා හා ඉහළ ඵලදායිතාව මත ගුණාත්මක රැකියා අවස්ථා බිහි කරමින්, ආනයන මත යැපෙන ආර්ථිකය අවම කිරීමට සැලසුම් කෙරෙයි.

සර්වජන බලය උපායමාර්ගික වැඩපිළිවෙළ යටතේ වැදගත් දේශපාලන ප්‍රතිසංස්කරණ කිහිපයක්ද හඳුන්වා දී තිබේ.

විධායක ජනාධිපති ධුරය පාර්ලිමේන්තුවට වගකියන – අධිකරණයට යටත් ධුරයක් කිරීම, තාර්කික ක්‍රමයකට විෂයන් බෙදා උපරිම වශයෙන් කැබිනට් අමාත්‍ය ධුර 25ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර 35ක් දක්වා සීමා කිරීම, මන්ත්‍රීවරුන්ගෙන් 70% ක් කොට්ඨාස මට්ටමින් හා 30%ක් සමානුපාතික ක්‍රමයට තෝරාගන්නා නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම ඒ අතරට අයත් ය.

මෙම උපායමාර්ගික වැඩපිළිවෙළ ජනතාවට ඉදිරිපත් කර ජනතා අදහස් ගෙන අවසන් කෙටුම්පත සකස්කිරීමට සර්වජන බලය සැලසුම් කර තිබේ.

RELATED ARTICLES

Most Popular