Wednesday, December 11, 2024
Homeවිශේෂාංගබුද්ධ දේශනාව සහ විද්‍යාත්මක ලෝකය අතර සම්බන්ධතාව සොයා බැලීමට නව ආයතනයක්..

බුද්ධ දේශනාව සහ විද්‍යාත්මක ලෝකය අතර සම්බන්ධතාව සොයා බැලීමට නව ආයතනයක්..

අද ලෝකය ඉදිරිපත්කරන අලුත් මත බුද්ධ දේශනාව තුළ අන්තර්ගත වී තිබෙනවා. අද අප සිටින්නේ විද්‍යාව සහ ධර්මය යන දෙකම එකට මුණ ගැසෙන සංධිස්ථානයකයි.

බුද්ධ දේශනාව සහ විද්‍යාත්මක ලෝකය අතර තිබෙන සම්බන්ධතාව සොයා බැලීමට නව ආයතනයක් වසරක් තුළ පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අමරපුර දින ආදිකර්තෘ සැමරුම් උත්සවයට ඊයේ (08) එක්වෙමින් ජනාධිපතිවරයා එම අදහස් පළකළේය.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර දින ආදිකර්තෘ සැමරුම් උත්සවය සබරගමු පළාත් සභා ශ්‍රවණාගාරයේදී ඊයේ පැවැත්වුණි.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතගේ ප්‍රධානත්වයෙනි.

වසර 222ක් පුරා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් සිදුකළ සියලුම ආදිකර්තෘ වහන්සේ සිහිකරමින් අමරපුර දිනය සමරනු ලබයි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“අද අප සිටින්නේ විද්‍යාත්මක හා තාක්ෂණික ලෝකයකයි. සිතාගත නොහැකි අන්දමින් අද ලෝකය වෙනස් වී තිබෙනවා. විශේෂයෙන්ම මුළු ලෝකයම කෘතිම බුද්ධිය පිළිබඳ අවධානය යොමු කර තිබෙන අවස්ථාවක අපත් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. තවත් වසර 05-10ක් යන විට කෘතීම බුද්ධි තාක්ෂණය සහ මනස අතර තිබෙන සම්බන්ධය පිළිබඳ අපට පුළුල් අවධානයක් යොමු කිරීමට සිදුවෙනවා. 

විශේෂයෙන් බුදු දහම සහ කෘතීම බුද්ධි තාක්ෂණය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ සොයා බැලීමේ පර්යේෂණ කටයුතු සිදුකිරීම වෙනුවෙන් රජයේ ප්‍රතිපාදන මත වැඩසටහනක් ආරම්භ කිරීමට මම තාක්ෂණික අමාත්‍යාංශයට උපදෙස් දී තිබෙනවා. ඒ පිළිබඳ මහා සංඝරත්නය සහ ගිහි පිරිස සමඟ සාකච්ඡා කරමින් එම කටයුතු ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙනවා. අද අපි සමාජක් ලෙස ඉදිරියට යා යුතුයි. එහිදී අපට පසුබැසීමට බැහැ. අපේ රටේ කීර්තිමත්ම යුගය ලෙස සලකන්නේ අනුරාධපුර යුගයයි. අනුරාධපුර යුගයේදී මහාවිහාරය, ජේතවනාරාමය, අභයගිරිය වැනි ප්‍රධාන පිරිවෙන් බිහි වුණා.

එදා ගිහි පැවදි සියලුදෙනා අධ්‍යාපනය ලැබුයේ මෙම පිරිවෙන්වලින්. මහාසෑය, ජේතවනාරාමය, අභයගිරිය වැනි විශ්ව කර්ම ඉදිකිරිම් සිදුකිරීමට එදා අපේ ජනතාව දැනුම ලබාගත්තේ මෙම පිරිවෙන් අධ්‍යාපනය තුළින් බව කිවයුතුයි. ඒ වගේම වත්මන් ඉංජිනේරුවන් පවා පුදුම කරවන අපේ විශිෂ්ට වාරි සංස්කෘතියත්, සීගිරිය වැනි විශිෂ්ට නිර්මාණත් බිහි වුණේ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය නිසයි.

නවීන දැනුම සහ මෙම විශිෂ්ටතා එක් කර ගනිමින් අප රටක් ලෙස ඉදිරියට යා යුතුයි. අද පරිසරය සහ දේශගුණික විපර්යාස පිළිබඳ ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. බුද්ධ දේශනාව තුළ දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා අවශ්‍ය දැනුම අන්තර්ගතව තිබෙනවා. පරිසරය රැක ගැනීම පිළිබඳ අප කුඩා කාලයේ සිටම ඉගෙන ගෙන තිබෙනවා.

අද ලෝකය ඉදිරිපත්කරන අලුත් මත බුද්ධ දේශනාව තුළ අන්තර්ගත වී තිබෙනවා. අද අප සිටින්නේ විද්‍යාව සහ ධර්මය යන දෙකම එකට මුණ ගැසෙන සංධිස්ථානයකයි. බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය සහ ත්‍රිපිටකයේ ඇතුළත් කරුණු සහ අද තිබෙන විද්‍යාත්මක ලෝකය අතර තිබෙන සම්බන්ධකම විමසා බැලීමට රජයක් ලෙස අපේ අවධානය යොමුව තිබෙනවා. එය රජයට තනිව කළ නොහැකි අතර සියලුදෙනා එක් වී එම කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි.”

RELATED ARTICLES

Most Popular