2023 වසරේ මුල් මාස 10ක කාලය තුළ මනුෂ්‍ය ඝාතන 500කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ.
ඒ අනුව පසුගිය වසරේ අදාළ කාලය තුළ මනුෂ්‍ය ඝාතන 488ක් සිදුව ඇති අතර ඉන් 52ක්ම සිදුව ඇත්තේ වෙඩිතැබීම් හේතුවෙන් බව එම වාර්තාවේ දැක්වෙයි.
තංගල්ල, නුගේගොඩ, ගම්පහ, රත්නපුර හා ඇල්පිටිය යන පොලිස් කොට්ඨාස පහෙන් මනුෂ්‍ය ඝාතන වැඩි වශයෙන් වාර්තා වී ඇති අතර එහිදී තංගල්ල කොට්ඨාසයෙන් මනුෂ්‍ය ඝාතන 32ක් වාර්තා වී ඇති බව ද එම වාර්තා සඳහන් කළේය.
දිවයින පුරා 2018 සහ 2022 අතර කාල වකවානුව තුළ බරපතළ තුවාල සිදුකිරීම් හා මනුෂ්‍ය ඝාතන 7017ක් වාර්තා වී ඇති බව පෙන්වා දෙන එම වාර්තාව ඉන් අපරාධ 2030ක්ම වාර්තා වී ඇත්තේ පසුගිය වසරේ බව ද සඳහන් කර තිබේ.
මෙරට තුළ සිදුවන බල අපරාධ වාර්තා වීම වර්ධනය වීම වැළැක්වීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගත යුතුව පවතින බව එම විගණන වාර්තාව මගින් නිර්දේශ කර ඇත.
මේ අතර පසුගිය වසර 6ක කාලය සැලකිල්ලට ගැනීමේ දී ගෙවල් බිදුම් හා කොල්ලකෑම් වාර්තා වී ඇත්තේ පසුගිය වසරේ දී බව සඳහන්ය.
2018 වර්ෂයට සාපේක්ෂව පසුගිය වසරේ දී එම අපරාධවල සියයට 50ක පමණ වර්ධනයක් පෙන්නුම් කෙරුණු බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.
මේ අතර කාන්තාවන්ට එරෙහි බරපතළ අපරාධ වාර්තාවීම 2022 වර්ෂයට සාපේක්ෂව පසුගිය වසරේ දී සියයට 27කින් වර්ධනය වී ඇති බව පෙන්වා දෙන එම විගණන වාර්තාව වාර්තාවී ඇති ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව 182 සිට 226 දක්වා ඉහළ ගොස් ඇති බව ද සඳහන් කළේය.
කාන්තාවන්ට බරපතළ තුවාල සිදුකිරීම්, පිහි ආදියෙන් තුවාල සිදුකිරීම් සහ ලිංගික අපයෝජන අනෙකුත් වසරවලට සාපේක්ෂව පසුගිය වසරේ දී ඉහළ ගොස් ඇති බව එම විගණන වාර්තා මගින් පෙන්වා දී ඇත.
කෙසේවෙතත් පසුගිය වසරේ දී එම අපරාධ විසඳීම සියයට 99ක ප්‍රගතියක් පෙන්නුම් කළ ද අපරාධ වාර්තාවීම වැඩි වී ඇති බව එම විගණන වාර්තා මගින් පෙන්වා දෙයි.
අපරාධ පාලනය හා වැළැක්වීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බව ශ්‍රී ලංකා පොලීසියේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කර ඇති විගණන වාර්තාව මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත.