Friday, February 7, 2025
Homeපුවත්දේශපාලනයමෙහෙත් මරලා පාලම්වල එල්ලයි.. රනිල් යලි ජනාධිපති නොවුනහොත් බංගලදේශය වගේ වෙනවා..

මෙහෙත් මරලා පාලම්වල එල්ලයි.. රනිල් යලි ජනාධිපති නොවුනහොත් බංගලදේශය වගේ වෙනවා..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා රට භාර නොගත්තේනම් ශ්‍රී ලංකාව  අද බංගලාදේශයටත් වඩා නරක තත්වයට  පත්වීමට ඉඩ තිබූ බව නාගරික හා නිවාස සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඇමතිවරයා අවධාරණය කරන්නේ අද බංගලාදේශයට අත්ව ඇති ඉරණම අපේ රටට ඇති කිරීම ඊනියා අරගලයේ අරමුණ වූ බවත් රනිල් වික්‍රමසිංහ මහතා යළි ජනාධිපති නොවුනහොත් බංගලදේශය මෙන් රට විසාලාවක් වනු ඇති බවයි.

ජන මතයට කන් නොදී දේශපාලනය කළ නොහැකි බවද කී ඇමති ප්‍රසන්න රණතුංග මහතා තමන් තවමත් ඔර්ජිනල් පොහොට්ටුවෙක් බවද කීවේය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේ පොලොන්නරුවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරු දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

රැස්ව සිටි පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සියළුම පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන පොහොට්ටු මහජන නියෝජිතයන් අත ඔසවා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බවට මෙහිදී ප්‍රතිඥා දුන්හ.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පොලොන්නරුව, මැදිරිගිරිය හා මින්නේරිය යන ආසනයන්හි පාලත් පාලන ආසන සංඛ්‍යාව 08කි. එම පළාත් පාලන අටෙන් එකක් නගර සභාවක් වන අතර ඉතිරි සියල්ල ප්‍රාදේශිය සභාවේ. එහි හිටපු පළාත් පාලන මන්ත්‍රීවරු 96 දෙනෙකු මේ රැස්වීම සඳහා පැමිණ සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද පැවසීය,

“මම අදටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයක්. මගේ දේශපාලනයේ පියා ලෙස මම දකින්නේ මගේ පියා. මම දේශපාලනයට එන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියත් එක්ක. මගේ පරමාදර්ශී නායකයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතායි.

අද අපි සියළු දෙනා එක මතයකට ඇවිල්ලා තියෙන්නේ. රොෂාන් රණසිංහ මහතා එක්ක මහින්ද සුළඟ වැඩසටහන ක්‍රියාවට නංවන්න මම එදා මේ ප්‍රදේශයට ආවා. එදාත් මම මහින්ද මහත්තයාට කළගුණ සළකපු කෙනෙක්. මහින්ද රාජපක්ෂ මහතා පරදිනකොට මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා යහපාලන ආණ්ඩුවේ ඉන්නකොට ඒ ආණ්ඩුවට විරුද්ධව රට වටේ ගියා.

යුද්ධයෙන් රට බේරාගත් නායකයාට ගෞවරණීය සමුගැනීමක් ලබා දීමේ බලාපොරොත්තුවෙන් තමයි එදා මම ඒ කටයුත්ත කළේ. 77 දී මගේ තාත්තාගේ නිවස ගිනි තියනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි ගම්පහ දිස්ත්‍රික්කයේ නායකයා. 2015 මහින්ද මහත්තයා වෙනුවෙන් මහින්ද සුළඟ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනකොට මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි, රනිල් වික්‍රමසිංහ මහත්තයා එකතු වෙලා මට සිවිල් නඩුවක් දැම්මා. මම විශ්වාස කරන දේශපාලන ක්‍රමය තුළ මම හැමදාම කටයුතු කළේ මහජන මතයක් එක්කයි. මහජන මතයට ගරු නොකර දේශපාලනය කරන්න බෑ. පෞද්ගලික කාරණා පැත්තක තියන්න වෙනවා. රට එක පක්ෂය දෙක කියන ස්ථාවරයේ ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වෙත් ඒක. පළමුව, දෙවැනුව සහ තෙවනුවත් මව්බිම කිව්වා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කරපු කෙනෙක් මම. 2015දී මහින්ද මහත්තයා පැරදුන වෙලාවේ එකම ධූරධාරිය ලෙස මම මහ ඇමතිකමේ ඉදගෙන රට පුරා මහින්ද සුළගත් එක්ක රට පුරා ගියා. එදා මට උදව් කළේ පළාත් සභා මන්ත්‍රීවරු, පළාත් පාලන මන්ත්‍රීවරුයි. ඒ ධුරයේ හිටිය පාර්ලිමේන්තුවේ ගොඩ දෙනෙක් හිටියේ නෑ. එතුමාට කොළඹ ඇවිල්ලා වැඩ කරන්න වුනාම මගේ නිල නිවස තමයි මම දුන්නේ. පළවෙනි දවසේ මන්ත්‍රීවරු 100 වැඩි ප්‍රමාණයක් ආවා. තුන්වෙනි දවස වෙනකොට මන්ත්‍රීවරු 12ට බැස්සා.

අපි නැවත එතුමාව දේශපාලනයට ගෙනාවා. අපි හැමෝම මහන්සි වෙලා 69 ලක්ෂයක් අරන් දුන්නා. තුනෙන් දෙකක බලයක් දුන්නා. අපිට ඒ වෙලාවේ බලය රැක ගන්න බැරි වුණා. පළාත් පාලන මැතිවරණ තියද්දි පක්ෂ නායක රැස්වීම වෙලාවේදී එළියට බැහැලා මම කිව්වා මම පොහොට්ටුවෙන් තරඟ කරන්නේ කියලා. එහෙම විශ්වාසයක් තිබ්බේ අපි ඒ තැනට පක්ෂය ගෙනල්ලා තිබුණ නිසයි. අපි එදා සන්ධාන ගත වුණානම් අපිට භාගයක්වත් නෑ. ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයක් ගන්නකොට තුන්ලක්ෂ හැට පන්දහසකින් වැඩිම ඡන්ද ගත්තේ ගම්පහ දිස්ත්‍රික්කයයි. යුද්ධයෙන් පස්සෙවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 13 දෙනෙක් ගම්පහට ආවේ නෑ. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි 13ක් ගත්තා. අපි එහෙම කළේ අපිට ලොකු විශ්වාසයක් තිබුණ නිසයි. මම අදටත් කියනවා ගෝඨාභය රාජපක්ෂ මහතා එතුමාට කරන්න පුළුවන් උපරිමය කළා.

කොවිඩ් වසංගතය වෙලාවේ ලක්ෂ එකහමාරක් දෙකක් මිනිස්සු මැරෙයි කියද්දි දහසය දහසකට අඩු ප්‍රමාණයකින් මිනිස්සු මැරෙන එක නවත්ත ගන්න පුළුවන් වුණේ ගෝඨාභය ජනාධිපතිතුමා ගත්ත ක්‍රියාමාර්ග නිසයි. අවාසනාවකට රටේ විදේශ සංචිතවල තිබුණ ගැටළුව නිසා මේ රට ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න වුණා. මේකෙන් ගොඩ යන්න තිබ්බා. විදේශ සංචිත නැති වීමත් සමඟ අපිට තෙල්ටික, ගෑස් ටික ගේන්න බැරි වුණා. ඉන්ධනහල්වල පෝලිමේ ඉන්න වුණා. මිනිස්සු ඒ පෝලීම් වල නැතිවුණා. අත්‍යාවශ්‍ය බෙහෙත් ටික නැති වුණා. මේ රට විශාල අර්බුදයක් කරා ගියා.

යුද්ධයේදී පාවා උතුරු නැගෙනහිරට විතරයි අර්බුදයක් මතුවුණේ. අනිත් දිස්ත්‍රික්කවල ජනතාව බෝම්බ බියේ හිටියත් මේ වගේ රටට බලපෑ ආර්ථික අර්බුදයක් ආවේ ලංකාවේ ප්‍රථම වතාවට 2022 වසරේදියි. ඒ වෙලාවේ අපේ නායකයෝ එක මිනිහෙක්වත් මරන්න කටයුතු කළේ නෑ. අද බලන්න බංගලදේශයේ මිනිස්සු එළියට බැස්සේ ඒ රටේ හොඳ ආර්ථිකයක් තියෙද්දි. රැකියා කෝටාවක් ලබා දෙන එකට විරුද්ධව ශිෂ්‍ය අරගලයක් ගියා. මේ වෙනකොට ළමයි 400ක් විතර මැරුණා. අදවනවිට මන්ත්‍රීවරු 26 දෙනෙක් පවුල් පිටින් මරලා. ඒ රටේ ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක හමුදා ප්‍රධානියාව මරලා පාලමක එල්ලලා තියෙන වීඩියෝ අද සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා. ලංකාවේ වෙන්න ගියෙත් ඕක. ඒකට ගොදුරු වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති මැතිතුමයි. එතුමා මොනවා කරාටද? එතුමාව කවුද ගම්පහ අදුරන්නේ. හොඳ වාහනයක ආපු නිසා අදුරගත්තා එතුමා මන්ත්‍රීවරයෙක් කියලා. සාමකාමී අරගලයට මම දොස් කියන්නේ නෑ. එක් වුනේ ජනතාව පීඩාවට පත් වීමත් එක්කයි. පීඩාවට පත් වූ සාමකාමී අරගලකරුවෝ මිනිස්සු මැරුවේ නෑ, ගෙවල් ගිනි තිබ්බේ නෑ. ඒක කළේ වෙනත් බලවේගයක්. ඒ බලවේගය තමයි පාර්ලිමේන්තුව වටලන්න එදා ලාල් කාන්තලා කතා වුණ වීඩියෝ අද ප්‍රචාරය වෙනවා. මිනිස්සු මරණ එක ඒ අයට අලුත් දෙයක් නෙමෙයි.

මේ රටේ ඩී.එස්. සේනානායකලා, ඩඩ්ලි සේනානායකලා, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකලා, සිරිමාවෝ මැතිණිය, චන්ද්‍රිකා මැතිණිය, මහින්ද රාජපක්ෂලා, රණසිංහ ප්‍රේමදාසලා, මේ රට පාලනය කළා. ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසයේ ඉදන් බලන්න 71 කැරැල්ල, 83 කළු ජූලිය, 88/89 කාලයේ මේ රට පත් කරපු තත්ත්වය. තමන්ගේ මතයට ගරු කරන්නේ නැති මිනිස්සුන්ව මරලා දාන්න පුළුවන් තත්ත්වයට පත් කළේ එදා ජනතා විමුක්ති පෙරමුණයි. 2022 වසරෙදිත් ඔවුන් කළේ ඒකයි. අවුරුදු 71 සාපයේ ප්‍රධානතම චූදිතයෝ වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. ඒ නමින් යන්න බැරි නිසා මාලිමාව කියලා දා ගත්තා. ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායමේ අයයි ඒ මාලිමාවෙත් ඉන්නේ.

රට ගැන කැක්කුමක් තියෙන මිනිස්සුන්ට අද අවස්ථාවක් තියෙනවා දේශපාලනය තුළ කටයුතු කරන්න. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් අද රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයට එක්වෙලා ඉවරයි. සියළු ජාතින්ට එකතු වෙන්න පුළුවන් මේ වේදිකාව මේ වේදිකාවයි. අපි සියළු දෙනා එකතු වෙලා එක මතයක ඉදන් රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන් පිරිස තමයි අපිත් එක්ක ඉන්නේ. පෞද්ගලික දේශපාලන වුවමනා එපාකම් කරන්න නෙමෙයි මේ වෙලාව තියෙන්නේ. මම ජනාපති, අගමැති වෙන්න ඕනේ කියලා කොන්දේසි දාන කාලයක් නෙමෙයි මේ වෙලාව. රටේ අර්බුදයෙන් වසර දෙකකදී අපි ගොඩ ගියා. 2027 වසර වෙනවිට මීට වඩා අමාරු කාලයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ කාලයට මුහුණ දෙන්න අවශ්‍ය පදනම තමයි මේ දේශීය නිෂ්පාදන ආර්ථීකයක් එක්ක වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන්නේ.

2022 දී අද බංගලදේශය පත්ව ඇති තත්ත්වයට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා නම්. එදා රනිල් වික්‍රමසිංහ මහතා අභියෝග භාරගන්න පුළුවන් නායකයෙක් විදියට ඒ දේ මනා විදියට පාලනය කළා. රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ආවේ ජාතික ලැයිස්තුවෙන්. මම තරම් එතුමාට බැනපු මිනිහෙක් නෑ. එතුමා වෙනුවෙන් අද අපි කතා කරන්නේ ඇයි? රට ගැන හිතන හින්දයි.

මම රනිල්ට සහයෝගය දුන්නේ ඇමතිකම රැක ගන්න කියලා කියනවා. මට ඇමතිකම දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නෙමෙයි. ඒක දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කාලයේ. එතුමාට ඇවිල්ලා අයින් කරන්න තිබුණා. තනතුරු තානාන්තර වෙනුවෙන් රට වෙනුවෙන් කටයතු කරන එක නවත්වන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට කිව්වේ එක දෙයයි. ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකයා වෙන්න පුළුවන්. ඔබතුමා රට වෙනුවෙන් ගෙනියන වැඩපිළිවෙලට ඔබතුමාට පක්ෂයක් ගන්න බෑ. ඒක නිසා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙන්න කියලා. එතුමා ස්වාධීන අපේක්ෂකයෙක් විදියට අද ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතුමා හැම වෙලාවෙම කියන්නේ පොහොට්ටුවේ කණ්ඩායමත් එක්ක කටයුතු කරන්න පුළුවන් වුණ නිසයි රට අද මේ තත්ත්වයට ගේන්න පුළුවන් වුණේ කියලා. ගෝඨාභය මහත්තයා ජනාධිපති කාලයේ, මහින්ද මහත්තයා අගමැති කාලයේ හිටියෙත් අපිම තමයි. අපි සමහර වැරැදි තීන්දු ගත්තා.

පොහොර ප්‍රශ්නය වෙලාවේ අපි බොහෝ දෙනෙක් කාබනික පොහොර මුළු රටේම කරන්න බෑ කිව්වා. ඒත් අපි කියපු දේ නෙමෙයි වියත් මඟ කියපු දේ විතරයි ඇහුවේ. මේ ආර්ථික අර්බුදය වෙලාවේ නැවත ගොවියන්ට සහනයක් දෙන්න කටයුතු කරලා තියෙනවා. රුපියල් 40,000ට පමණ ගිය පොහොර මිටියක් දැන් රුපියල් 8,500ට දෙන්න පුළුවන් වුණේ ඇයි? ආර්ථික අර්බුදය තියාගෙන නිසි කළමනාකරණය නිසා තමයි මේ කටයුතු කරන්න පුළුවන් වුණේ.

සංවර්ධනයට මුදල් සෑම දිස්ත්‍රික්කයකටම දිලා තියෙනවා. ඒක හැමෝටම කරන්න බෑ. ආර්ථික කළමනාකරණය නිසයි ඒ දේ කරන්න පුළුවන් වුණේ.

අපේ පක්ෂයෙන් හොඳ ව්‍යාපාරිකයෙක් දාන්න හැදුවා. බෑ කියලා ගියා. ඒ අය දන්නවා මේක කරන්න පුළුවන්ද බැරිද කියන එක. අද පක්ෂයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාව දාලා තියෙනවා. අපි මහින්ද මහත්තයා වෙනුවෙන් එළියට බැහැපු මිනිස්සු. අපි මහින්ද මහත්තයාට ආදරෙයි තමයි ඊට වඩා අපි රටට ආදරෙයි. රට ගැන තීන්දු ගන්න තියෙන වෙලාවේ අපි පෞද්ගලිකත්වය බලන්නේ නෑ. නාමල් රාජපක්ෂ මහතාට තව කාලයක් තියෙනවා. එතුමා තව අත්දැකීම් ලබන්න ඕනේ.

මිනිස්සුන්ගේ මතය අපි තේරුම් ගන්න ඕනේ. ඒත් ඒ මතය පක්ෂයේ සමහරුන්ට තේරෙන්නේ නෑ. පක්ෂයේ ලේකම්තුමා මහ පොලොවේ ක්‍රියාත්මක වෙන මතය දැක්කා. එතුමා ඇවිල්ලා පක්ෂයට කිව්වේ නෑ. නෑ නෑ ඔක්කොම හරි කිව්වා. ඒක තමයි මිනිස්සු අද පොහොට්ටුවට පණිවුඩයක් දෙන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක එකතු වෙලා තියෙන්නේ.”

– ප්‍රදීප් අනුර කුමාර

RELATED ARTICLES

Most Popular