පාලකයන්ගේ වරදින් ජනතාව දුක් විඳිද්දී මේ රටේ නායකයන් මොන තරම් සුඛෝපභෝගී ජීවිතයක් ගතකර තිබෙන්නේද යන්න ජනතාව දැනගත යුතු බවත් ඉදිරියේදී විශ්‍රාමික ජනාධිපතිවරු හිටපු නිල නිවාසවල තත්ත්වයත් පෙන්වන බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
ඉදිරියේදී මේවා ප්‍රදර්ශනය කරාවියැයි බියෙන් ඇතැම් අය මේ වන විට නිල නිවාසවල බඩු වෙනත් තැන්වලට ගෙනයන්නට උත්සාහ කරන බව තොරතුරු වාර්තා වන බවද ඒ මහතා කීය.
මහනුවර, යටිනුවර වීදියේ ඩෙවෝන් රෙස්ට්හිදී ඊයේ (03දා) පැවැති මාධ්‍ය හමුවකදී ලාල්කාන්ත මහතා මෙසේද පැවැසුවේය. මේ රටේ දේශපාලනඥයන් ජනතාවගේ සම්පත් කුමන ආකාරයටද පරිහරණය කළේ කියන කාරණය නොදැන සිටි අය ඒවා දැනගත යුතුයි. ඒ වෙනුවෙන් අපි තව තවත් ප්‍රදර්ශන පවත්වනවා. ජනතා මුදල් කාබාසිනියා කරමින් සිඟිති ආතල් ගත්තු උදවියට මෙය ගැටලුවක් විය හැකියි.
හිටපු ජනාධිපතිවරයා පසුගිය කාලයේදී කිසිදු අදාළ කමක් නැති තනතුරුවලට තම තමන්ගේ හිතුවතුන් පත්කර යාන වාහන ලබාදී තිබෙනවා.
හිතවතකුට තනතුරක් දෙන්න ඕන වුණාම තනතුරක් හදලා ඒ අයට දීලා. මේවා මේ රටේ ජනතාව දැන ගැනීම වරදක්ද. ජනතාව වංචා දූෂණයට විරුද්ධයි වගේම ඒවා කළ අයට දඬුවම් දිය යුතුයි කියන ස්ථාවරයේ ඉන්නවා. ජනතාවගේ සල්ලිවලින් සිඟිති ආතල් ගත්ත අයට මේවා ඇහේ කටු අනිනවා වගේ.
මහනුවර මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රි චන්ද්‍රසිරි විජේනායක මහතාද මෙම අවස්ථාවට සහභාගි විය.
– කේ.එල්. සුරවීර