Friday, February 7, 2025
Homeවිශේෂාංගඅලුතින් පහළ වූ මහරජ කීරවැල්ල.

අලුතින් පහළ වූ මහරජ කීරවැල්ල.

රාවණා, ජම්බුදීප, අංගම් වැනි මනෝමූලික විකාර පසුපස දුවමින්, ඒ පිළිබඳව වාද හෝ සංවාද කරන්නට මම බෙහෙවින් අකැමැත්තෙමි. මන්ද යත්, අප විසින් කුමනාකාරයේ තර්ක, සාක්ෂි මගින් ඒවායේ මනෝමූලික භාවය පෙන්නා දුන්නත් ඒවායේ එල්බ ගෙන සිටින පුද්ගලයන්ගේ මනෝ ව්‍යාධි සුවපත් කිරීමට අපට හැකියාව නැති නිසා ය. ඒවා එක්කෝ ඉබේ සුව විය යුතු ය. නැත්නම්, මහේස්ත්‍රාත් නියෝගයක් ගෙන ආණ්ඩුවේ මානසික රෝහලට යැවිය යුතු ය.

“සෙනෙවිරත්න කීරවැල්ල සහබාගී වූ වැඩසටහනකින් …”

මෙවැනි මනෝමූලික කොමඩි වෙනුවෙන් මගේත් ඔබේත වටිනා කාලය කා දමන්නට මා කොපමණ අකැමැති වුණත්, ‘කීරවැල්ලේ මනෝ ව්‍යාධිය’ නම් ඉතා ඉක්මනින් සුව කළ යුතු බව පෙනී යන හෙයින් මේ ලිපිය ලියා තබන්නට සිතීමි.

පළමුව, ‘කීරවැල්ලේ මනෝ ව්‍යාධිය‘ ගැන සමාජ මාධ්‍ය වල සිදු වූ වර්ධනය ගැන කෙටියෙන් සටහන් කරනු රිසිමි.

  1. කතා නායකයා කීරවැල්ල අනුරුද්ධ සිරිමාන්න සෙනෙවිරත්න අධිකාරම් මුදියන්සේලාගේ උදය දීප්ති වසන්ත සෙනෙවිරත්න ය.
  2. ඔහු කීරවැල්ල නමැති පෙළපතකට අයත් බව කියයි. (මා දන්නා තරමට, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අංශාධිපති ව සිටි මහාචාර්ය ගාමිණී කීරවැල්ල මෙම පෙළපතේ වර්තමානයේ සිටින කීර්තිමත් ම තැනැතතෙකි.)
  3. කීරවැල්ල පරපුර, සම්බන්ධයෙන් ඔහුගේ කතාව ආරම්භ වන්නේ, දළදාගමනයත් සමඟිනි. දළදාව වැඩමැවූ හේමමාලා දන්ත දෙදෙනාගෙන් මෙම පරම්පරාව පැවතෙන බව ඔහු කියයි.
  4. එබැවින්, දළදාවේ භාරකරුවා ඔහු බව සනාථ කරන්නට කතා නායකයා උත්සාහ කරයි.
  5. මේ සම්බන්ධයෙන් වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල වෙත ඔහු විසින් කරන ලද බලපෑමක් මත, දියවඩන නිලමේවරයා විසින් මේ කතාවේ ඇත්ත නැත්ත සොයා වාර්තා කරන මෙන්, පේරාදෙණියේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ විනේතෘ මහාචාර්ය එච්. එම්. ඩී. ආර්. හේරත් මහතා වෙත යොමු කරන ලදුව, ඔහු විසින් පරම්පරා සටහනක් සකස් කර තිබේ.
  6. එකී පරම්පරා සටහන මගින් ඔහු විසින් කියා සිටින පාරම්පරික කතාව සනාථ වන්නේ යැයි ද, පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් එය නිල වශයෙන් පිළිගන්නා ලද්දේ යැයි ද කියමින් සමාජය අන්දවමින් සිටී.

සිය කතාව තහවුරු කිරීමට ඔහු විසින් ඉදිරිපත් කරන ලේඛන කිහිපයකි.

      • හේමමාලා බංඩාරවලිය පුස්කොලපොත
      • දළදා පූජාවලිය
      •  දළදා සිරිත
      • කීරවැල්ලේ රජමුල
      • කීරවැල්ලේ බංඩාරවලිය
      •  බෙලිගල් කෝරලේ සත්‍ය විත්ති
      •  කඩයිම් සහ විත්ති පොත

(කීරවැල්ල පරම්පරාව, රාජකීය පවුල් සමඟ සමීප සම්බන්ධයක් පවත්වාගෙන ගිය උසස් පෙළපතක් වීම වෙන ම කාරණයක්. මගේ වෑයම මේ හදන ව්‍යාජ දළදා අයිතිය ප්‍රතික්ෂේප කරන එක.)

  1. මහාචාර්ය හේරත් සකස් කරන ලද පරම්පරා විස්තරය, යථොක්ත විත්ති පොත් වල එන නම් පදනම් කරගත්ත එකක් බව මොහු හිතාමතා සඟවයි.
  2. දියවඩන නිලමේ තනතුර නීත්යනුකූල නොවන බව කියා, එම තනතුර ඔහුට ලබා දෙන මෙන් ඉල්ලයි.

11.. සැබෑ දළදාව ඔහු සතු බව කියයි.

  1. නුසන්තාරා නම් රාජ්‍යයක අධිරාජිණියක විසින් ඔහුට ‘රාජාධි රාජ’ නමින් අභිධානයක් දුන් බව පවසා රජය ද නොමග යවයි.

මේ සංක්ෂිප්ත සටහනට වැඩිමනක් දැන ගන්න අවශ්‍ය නම්, ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් බලන්න.

“සෙනෙවිරත්න කීරවැල්ල Facebook පිටුවෙන් සහ කීරවැල්ල රාජකීය පරපුර(Royal Family of Sri Lanka) Facebook පිටුවෙන්…”

මුලින් ද කී පරිදි, මෙම ගැටලුව ඇති වන්නේ කීරවැල්ල පරම්පරාවේ ඓතිහාසිකත්වය සම්බන්ධයෙන් නොවන බව කිව යුතු ය. ව්‍යාජ ඉතිහාසයක් සකස් කරමින්, සමාජය නොමග යවන මානසික ව්‍යාධි සහිත තැනැත්තන්ට විරුද්ධව ය.

  1. දළදාව සදාතනික වශයෙන් කීරවැල්ල පෙළපතට භාර දී තිබුණේ නැත. එය රජු සන්තක දේපලකි.
  2. පරිහාණීය අවදි වල ලියැවුණු විත්ති හා කඩයිම් ලේඛන යනු කිසිසේත් ම ශාස්ත්‍රීය ලේඛන නො වේ. ගම් වල ජීවත් වුණු සාමාන්‍ය ගම්බද උගත්තු, තමන්ගේ ප්‍රදේශයේ ඉතිහාසය, ප්‍රධාන පවුල් සම්බන්ධව ලියන්නට ගත් උත්සාහයන් වශයෙන් ඒවා හැඳින්විය හැකිය. එවැනි ලේඛන භාවිත කරමින් ඉතිහාසය ගොඩනැංවීම විශේෂ ශික්ෂණයකින් යුතු ව කළ යුතු කාර්යයකි.
  3. දළදාව සම්බන්ධ රාජකාරි කිරීමට පත් කර සිටි තනතුරු, විවිධ කාල වල, විවිධ නම් වලින් හැඳින්වූ අතර, අවසන් වරට හඳුන්වන ලද නාමය දියවඩන රාළ/නිලමේ යනු යි.
  4. කතා නායකයා දැන් ‘දියවඩනකම’ වෙනුවට ‘රජකමට’ බැස තිබෙන සෙයකි. තමා හැඳින්වීමට ‘රාජාධි රාජ’ යැයි ද යොදා ගෙන ඇත.
  5. ඔහුට සම්මාන දුන්නේ යැයි කියන ‘නුසන්තරා” රාජිණිය ගැන අන්තර්ජාලයේ සොයා බලන්න. 14 වැනි සියවසේ පැවතුණු මැලේ අධිරාජ්‍යයක අයිතිය කියමින්, මැලේසියා, ඉන්දුනීසියා, මෝගල්, චෝල, පිලිපීන, බෝර්නියෝ ආදි රටවල් ගණනාවක නැවත අධිරාජ්‍යයක් පිහිටුවන්නට කල්පනා කරන මෙම ජාතියේ ම කණ්ඩායමක් බව හඳුනාගත හැකිය.
  6. කිසිදු පෙළපතකට, පරම්පරා හය හතක්වත් අංග සම්පූර්ණ වශයෙන් ප්‍රතිනිර්මාණය කර ගත නොහැක. නමුත් මොහු කියන පරම්පරාව අඛණ්ඩව අනුරාධපුර අවදියට ම දිවේ. ඒ ද, යට කී විත්ති පොත් දෙක තුනේ එන නම් පහලොවක් විස්සක් අනුසාරයෙනි.
  7. තමා එවැනි උරුමයක් ඇති අයෙක් යැයි ඔප්පු කර පෙන්වන්නේ නම්, ඊට Genealogy නම් විද්‍යාත්මක පර්යේෂණ ක්‍රමය අනුව ඔප්පු කර පෙන්විය යුතු ය.
  8. පරම්පරා ගස අනුව ඒවා බිඳී යන පිළිවෙල, කාල රික්ත රහිත ව සනාථ කළ යුතු ය. එය සත්‍ය නම්, එවැනි පවුල් ශාඛා අතර ජානමය සාක්ෂි ගලපා ඔප්පු කළ හැකිය. ඒ කිසිත් නැතිව, අර පොතේ ඇත, මේ පොතේ ඇත යනුවෙන් කතා ගොඩනංවා පරම්පරා උරුම සකස් කළ නොහැක. මා දන්නා තරමට මෙම විෂය මෙරට විශ්ව විද්‍යාල වල උගන්වන්නේ ද නැත.
  9. ලංකාවේ රාජකීය උරුමකරුවන් තව දුරටත් ඉතිරි ව සිටී ද යන්න සම්බන්ධව බ්‍රිතාන්‍ය පාලකයන් ඉතා තීව්‍ර ලෙස 1815 – 1850 වකවානුවේ සොයා බලා ඇත. එවක සිටි ඉහළ ප්‍රධානීන් වෙතින් ඒ පිළිබඳව ප්‍රකාශ පවා ලබා ගෙන තිබේ. එම ලේඛන අදටත් ජාතික ලේඛනාගාරයේ ඇත. ඒ කිසිවක කීරවැල්ලක් ගැන කියා නැත. එවැන්නක් කිසිවෙකු දැන සිටි බවට පෙනෙන්නේ ද නැත.
  10. අවසන් දළදා භාරකරු යැයි, ඔහු විසිනා පුවත්පතක පළ කරන ලද හිරිපිටියේ රාළගේ ඡායාරූපයක් මෙහි අමුණා ඇත. ඔහු සිටියා ය කියන්නේ කෝට්ටේ-සීතාවක අවදියේ ය. කැමරාව හොයා ගත්තේ 1900 ගණන් වල ය.

“කීරවැල්ල පරපුර.සෙනෙවිරත්න කීරවැල්ල Facebook පිටුවෙන් ලබා ගන්න ලදී.”

නිසි ප්‍රතිකාර ගතහොත්, Delusion සුව කළ හැකි ය.

 

 

RELATED ARTICLES

Most Popular