26 C
Colombo
අඟහරුවාදා, අප්‍රේල් 23, 2024

ඉදිරි දස වසරේදී දළ දේශීය නිෂ්පාදනය දෙගුණයකින් ඉහළ නැංවීමට සැලසුම් – ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල

Must read

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රටේ ආර්ථිකය යම්කිසි පසුබෑමට ලක්ව තිබුණ ද ඉදිරි වසර දහයක කාලය තුළ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය දෙගුණයකින් ඉහළ නැංවීම සැලසුම් කර තිබෙන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ප්‍රකාශ කරයි.

ඒ වෙනුවෙන් අපනයන ආදායම ඉහළ නංවා ගත යුතු වන අතර බහු අංශයේ ආයෝජන අවස්ථා රැසක් හඳුනාගෙන තිබෙන බවද නිෂ්පාදන, තොරතුරු තාක්ෂණ, සංචාරක සහ ආගන්තුක සත්කාර, කෘෂි හා ආහාර සැකසුම්, වෙනත් සේවා සහ යටිතල පහසුකම් ඇතුළු අංශ රැසක් සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙන බවද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා පැවසීය.

ඒ අනුව ඉදිරි වසර 10ක කාලයේ දී නිෂ්පාදන අංශයෙන් ඩොලර් මිලියන 1000ක අපනයන ආදායමක් ද තොරතුරු තාක්ෂණ අංශයෙන් ඩොලර් මිලියන 3000ක ආදායමක්ද අපේක්ෂා කරන අතර, සංචාරක සහ ආගන්තුක සත්කාර අංශයෙන් අපේක්ෂිත ආදායම ඩොලර් මිලියන 8,000ක් බවද ඒ මහතා පෙන්වා දෙයි.

ඊට අමතරව කෘෂි හා ආහාර සැකසුම් අංශයෙන් ඩොලර් මිලියන 3000 – 5000 අතර ආදායමක්ද වෙනත් සේවා තුළින් ඉහළ ආදායමක්ද අපේක්ෂා කරන බව පැවසූ සංජය මොහොට්ටාල මහතා ආදායම් ඉහළ නංවමින් නිෂ්පාදන වර්ධනය කිරීම සඳහා යටිතල පහසුකම් අංශය දියුණු කිරීමට අපේක්ෂා කරන බවද කියා සිටියේය.

සභාපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින තත්ත්වය යටතේ අන්තර්ජාතිකව කටයුතු කිරීමේ දී තව දුරටත් හුදෙකලාව ක්‍රියා කළ නොහැකි බවත්, ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය මේ තත්ත්වය අවබෝධ කරගෙන ඇති බවත්ය. තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාල, වෙළෙඳ සහ කර්මාන්ත නියෝජිත සංගම්, මූල්‍ය ආයතන සහ ජාත්‍යන්තර මහජන සම්බන්ධතා, ඩිජිටල් අලෙවිකරණය, නිර්මාණාත්මක සහ වෙබ් තාක්ෂණයන් සහ උපදේශන සේවා වැනි ප්‍රතිරූප ගොඩනැඟීමේ නියෝජිතායතනවල විශේෂිත සේවාවන් ඇතුළත් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් හරහා බහුවිධ පාර්ශ්වකරුවන්ගේ විශේෂඥ දැනුම ගන්නා ගෝලීය පද්ධතියක් ගොඩනඟා ඒ තුළින් සහජීවනයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ආයෝජන මණ්ඩලය හොඳින් හඳුනා ගෙන ඇති බව පෙන්වා දුන්නේය.

මෙම සහයෝගිතා ප්‍රවේශය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තරගකාරීත්වය ඉහළ නැංවීමටත්, අහිමි වූ අවස්ථා නැවත ගැනීමට, අවකාශය සලසා දෙන අතර Invest India වැනි ආයෝජන ආයතන මීට සමාන ක්‍රමවේදයන් භාවිතා කිරීම ඔස්සේ මෙතෙක් අත්කර ගෙන ඇති සාර්ථකත්වය අධ්‍යයනය කිරීමද යෝග්‍ය බව ඒ මහතා සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකාවට පැමිණෙන සෘජු විදේශ ආයෝජන තව දුරටත් ඉහළ නැංවීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ඒ මහතා ශ්‍රී ලංකාවේ අනෙකුත් අන්තර්ජාතික ප්‍රවර්ධන ආයතන සමඟ ඵලදායී ලෙස තරග කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමටත්, ජාත්‍යන්තර ආයෝජකයන්ගේ අවශ්‍යතා සපුරාලීමටත්, උපාය මාර්ගික ලෙස රටට අවශ්‍ය විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහාත් මේ වන විට සැලසුම් සකසා තිබෙන බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

More articles

Latest article