29 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

සිපෙට්කෝ IOC ඒකාබද්ධ මිල සූත්‍රයක්

Must read

ඉන්දීය තෙල් සමාගමට සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඒකාබද්ධ මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව විදුලිබල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඊයේ (28) අනාවරණය කළේය.

මේ වන විට රටේ පවතින බලශක්ති, විදුලිය සහ ගෑස් සැපයුම පිළිබඳ පවතින අර්බුදකාරි තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඊයේ (28) සහභාගි වෙමින් ඇමැතිවරයා පැවසුවේ ඒ සඳහා සාකච්ඡා මේ වන විට පැවැත්වෙන බවයි.

වෙළෙඳ සහ සමෘද්ධි සංවර්ධන ඇමැති ශෙහාන් සේමසිංහ යන මහත්වරු, එම අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු නිලධාරීහු ඊයේ (28) පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට සහභාගි වූහ.

පවතින අර්බුදකාරි තත්ත්වය විසඳා ගැනීම පිළිබඳ පක්ෂ නායකයන් ඇතුළු කාරක සභා සාමාජිකයෝ මෙහිදී අදාළ ඇමැතිවරු සහ නිලධාරීන් සමඟ සාකච්ඡා කළහ.

මේ අමාත්‍යාංශ ද්විත්වය සඳහා නව ලේකම්වරු දෙදෙනෙක් පත් කර ඇති බවත් පවතින තත්ත්වය කළමනාකරණය කොට ඉදිරි දින කිහිපය තුළ පවතින අර්බුදය ජය ගැනීමට නිලධාරීන් සමඟ හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් ඇමැතිවරයා පක්ෂ නායකයන් ඇතුළු කාරක සභාවේ සාමාජිකයන්ට පවසා සිටියේය. එසේම මේ අර්බුදය සඳහා බලපා ඇති හේතූ සහ පැවති කළමනාකරණ දුර්වලතා පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවට දෙන බව ද ඇමැතිවරයා පැවසීය.

මෙහිදී ඛනිජ තෙල් සැපයුම අඛණ්ඩව කිරීම සඳහා මුතුරාජවෙල පර්යන්තය පැය විසිහතරම සේවය කරන බවත් අදාළ නිලධාරීන් ප්‍රමුඛ සේවක මඬුල්ල හැකි උපරිම කැප කිරීමකින් සේවය කරන බවත් ඇමැතිවරයා පැවසීය. විදුලිබල ජනනය සඳහා අවශ්‍ය ගල් අඟුරු නැවක් සඳහා අද ගෙවීම් කළ බවත් ඒ අනුව ලබන සැප්තැම්බර් දක්වා අවශ්‍ය ගල් අඟුරු පවතින බව ද ඔහු පැවසීය.

විදුලිබල ජනනය සඳහා අවශ්‍ය ඉන්ධනවලට ප්‍රමුඛත්වයක් දෙන බවත් ගුවන් සේවා සහ විදුලි බල මණ්ඩලයට ඍජුවම ඉන්ධන මිලදී ගැනීම සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කිරීමට ඉදිරි කාලය තුළ කටයුතු කරන බවත් ඒ සඳහා පක්ෂ නායකයන් ඇතුළු පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම සහාය අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා පැවසීය.

පුනර්ජනනීය බලශක්තිය මෙරට විදුලිබල පද්ධතියට යොදා ගැනීමට එරෙහිව පවතින බාධක පිළිබඳ ද කාරක සභා මන්ත්‍රීවරුන්ගේ විශේෂ අවධානයට යොමු විය. මේ අනුව සර්ව පාක්ෂික කමිටුවක් ස්ථාපනය කොට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් පුළුල් කළ යුතු බව කාරක සභා සාමාජිකයෝ පෙන්වා දුන්හ. ඒ සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කිරීමට ඉදිරි කාලය තුළ අපේක්ෂා කරන බවත් එම සංශෝධන හරහා පුනර්ජනනීය බලශක්තිය මෙරට විදුලි බල පද්ධතියට වැඩි වශයෙන් එක් කර ගැනීමට හැකි වනු ඇති බව ද විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා මෙහිදී පැවසීය. දැනට පවතින ගෑස් හිඟය පිළිබඳ ද වෙළෙඳ සහ සමෘද්ධි සංවර්ධන ඇමැති ශෙහාන් සේමසිංහ මහතා මෙහිදී අදහස් දැක්වීය. ඉන්දියන් ණය පහසුකම සහ ලෝක බැංකු ණය පහසුකම් යටතේ ගෑස් සැපයුම සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් ඒ අනුව ඉදිරි කාලය තුළ ගෑස් සැපයුම සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට හැකි වන බවත් ඇමැතිවරයා මෙහිදී පැවසීය.

More articles

Latest article