28 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 20, 2024

ඉන්දියාවට එරෙහිව පාකිස්තානයට ඉතිහාසගත ජයක්

Must read

මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම අවධානයක් දිනාගත් සුපිරි 12 වටයේ ඉන්දු – පාකිස්තාන තරගයෙන් කඩුලු 10ක ඉතිහාසගත ජයක් හිමි කර ගැනීමට පාකිස්තානය සමත් විය.

ලෝක කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසයේ (විස්සයි20 සහ එක්දින) පාකිස්තානය හමුවේ ඉන්දියාව පරාජයට පත් වූ පළමු අවස්ථාව මෙය වන අතර, ඉන්දියාවට එරෙහිව පාකිස්තානය විස්සයි20 තරගයක් ජය ගත් දෙවැනි අවස්ථාව ලෙස ද වාර්තා අතරට එක් විය. විස්සයි20 ලෝක කුසලාන තරග බිමේදී මේ දෙපිල මින් පෙර හමු වූ අවස්ථා හයේදීම තරගය ජය ගැනීමට ඉන්දියාව සමත්ව තිබේ.

එමෙන්ම විස්සයි20 තරගයකදී පාකිස්තානය කඩුලු 10කින් ජය ගත් පළමු අවස්ථාව මෙන්ම දෙවැනි ඉහළම ලකුණු හඹා යෑම ද විය. මින් පෙර නවසීලන්තය පාකිස්තානය එරෙහිව කඩුලු 10කින් ජය ගෙන ඇත්තේ ලකුණු 169ක ඉලක්කයකි. එමෙන්ම විස්සයි20 ලෝක කුසලාන තරගාවලියකදී හඹාගොස් කඩුලු 10කින් ජය ගත් ඉහළම ඉලක්කය ද මෙයයි.

ඊයේ ඩුබායිහිදී පැවැති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව ලකුණු 151ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹාගිය පාකිස්තානය කිසිවකුත් නොදැවී ජය හිමි කර ගත්තේ ඕවර 17.5කදීය.

නායක බාබර් අසාම් නොදැවී ලකුණු 68ක් සහ මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 79ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. අසාම් පන්දු 52කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් එල්ල කළ අතර, රිස්වාන් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් එල්ල කළේ පන්දු 55කදීය.

පාකිස්තාන පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය ආරම්භක පිතිකරු යුගලය ලකුණු 6ක් වෙද්දී යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට ෂහීන් අෆ්රිඩි සමත් විය.

අනතුරුව පිටියට පිවිසි නායක විරාට් කෝලි ඉනිම ගොඩනැඟීමේ සටනක නිරත වූ අතර, ඔහුට සහායක් දිය හැකි වූයේ රිෂාබ් පාන්ට්ට පමණි. හතරේ සහ හයේ පහර 2ක් බැගින් එල්ල කරමින් පාන්ට් ලකුණු 39ක් රැස් කළ අතර, දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලට ගොඩනැඟු සබඳතාව ලකුණු 53කි.

කෝලි හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 57ක් රැස් කළ අතර, ඒ සඳහා පන්දු 49ක් වැය වී තිබිණි. ඔහු ඊයේ රැස් කළ 29 වැනි විස්සයි20 අර්ධ ශතකයයි. රවීන්ද්‍ර ජඩේජා ලකුණු 13ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී ෂහීන් අෆ්රිඩි කඩුලු 3ක් සහ හසන් අලී කඩුලු 2ක් බිඳ දැම්මේය.

ඉන්දියාව – 151/7යි. (ඕවර 20) විරාට් කෝලි 57, රිෂාබ් පාන්ට් 39 (ෂහීන් අෆ්රිඩි 31/3, හසන් අලි 44/2)

පාකිස්තානය – කිසිවකු නොදැවී 152යි. (ඕවර 17.5) මොහොමඩ් රිස්වාස් නොදැවී 79, බාබර් අසාම් නොදැවී 68

More articles

Latest article