25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

අනුරාධපුර උතුර පානීය ජල ව්‍යාපෘතිය සම්බන්ධව කනදරාව ඒකාබද්ධ ගොවි සංවිධාන සමග සාකච්ඡාවක්

Must read

අනුරාධපුර උතුර පානීය ජල ව්‍යාපෘතියට අවශ්‍යය ජල ප්‍රමාණය ස්ථිර ඇළ මාර්ගයක් හරහා මහ කනදරාව ජලාශයට ලබා දී, පානීය ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මහකනදරාව ජලාශය යටතේ ගොවිතැන් කරන කිසිදු ගොවියකුගේ විරෝධයක් නැති බව මහ කනදරාව ඒකාබද්ධ ගොවි සංවිධානය පවසයි.

රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජල සම්පාදන හා වාරී මාර්ග දෙපාර්තමේන්තු නිළධාරීන්ගේ හා කනදරාව ඒකාබද්ධ ගොවි සංවිධාන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් රඹෑව විහාරස්ථානයේ පැවති රැස්වීමකදී ගොවි සංවිධාන නියෝජිතයින් සමඟ පැවති සාකච්ජාවකදී මේ බව පැවසීය.

කනදරාව ජලාශයේ ජලය උපයෝගී කර ගෙන ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමෙන් කනදරාව ජලාශය යටතේ වගා කටයුතු කරන ගොවීන්ගේ ගොවිතැන් කටයුතු වලට ජල හිඟයක් ඇති වෙතැයි ගොවි ජනතාව තුළ සැකයක් මතු වීම හේතුවෙන් මෙම ජල ව්‍යෘපෘතියේ වැඩ නිම වූවත්, ජල ව්‍යෘපෘතියට ජලය ලබා ගැනීම සම්බන්ධයෙන් ගොවි ජනතාව තුළ විරෝධයක් මතුව ඇත.ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා මෙම සාකච්ජාව පැවැත්විණි.

2024 වර්ෂය වන විට සැමට පිරිසිදු පානීය ජලය ලබා දීමේ වත්මන් ආණ්ඩුවේ වැඩසටහන යටතේ අනුරාධපුර මහකනදරාව ජලාශය කේන්ද්‍ර කර ගනිමින් නිදන්ගත වකුගඩු රෝගීන් බහුලව වෙසෙන මැදවච්චිය හා රඹෑව ප්‍රදේශයන් වෙත සුරක්ෂිත පානීය ජලය සැපයීම වෙනුවෙන් අනුරාධපුර උතුරු ජල සම්පාදන ව්‍යාපෘතියෙහි ජල පිරිපහදු සංකිරණය මිහින්තලය, කනදරාව වැව් බැම්ම පාමුල ඉදි කර අවසන්ව ඇත, එහි ඉදි කිරීම් කටයුතු හා නල එලීම් කටයුතු හා යන්ත්‍ර සූත්‍ර සවි කිරීම් මේ වන විට අවසන් අදියරට පැමිණ ඇත.

රුපියල් බිලියන 11.5 ක පමණ වියදමින් මෙම ජල යෝජනාක්‍රමය ක්‍රියාත්මක කෙරෙන අතර, මෙහි විශේෂිත වු ජල පවිත්‍රාගාරය ඉදිකිරීම් කටයුතුද මේ වන විට අවසන් අදියරට පැමිණ ඇතැයි ජල සම්පාදන නිළධාරීන් පවසයි.මේ ජල යෝජනා ක්‍රමය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය,රඹෑව,ඇතෑකඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරමින් සෘජු ප්‍රතිලාභි පවුල් විසි පන්දහසකට(25000) පමණ සෙත සැලසේ.

මින්නේරි දෙවියන් ලෙසින් හඳුන්වනු ලබන මහසෙන් රජතුමා මහකනදරා ජලාශය නිර්මාණය කළේ මෙම ප්‍රදේශයේ භූගත ජල මට්ටම ඉහළින්ම තබා ගැනීමේ පරම අදිටනින් යුතුව ය. මෙයින් වසර 1700කට පෙර භූගත ජල මට්ටම ඉහළ තබා ගනිමින් මහජනයාට අවශ්‍ය පානීය ජලය ලබා ගැනීමට කුඩා ළිං සදහා ජලය ලබාගැනීම ආධාරකයක් කරගැනීම උදෙසා ය. එකල රජ දවසේ කනදරාව හෙවත් මහකනදරාව ජලාශයේ ජලය, කෙත්බිම් සරු සාර කිරීමට අනතුරුව දියනෑම සදහා පමණක් භාවිතා කළ බවට පෙර අතීත තොරතුරු ගවේෂණයේ දී අනාවරණය වෙති.

විවිධ ‍පරසතුරු උපක්‍රම, කුමන්ත්‍රණවලට නිතර ග්‍රහණයට ලක් වුව ද නොනැසී පැවති මහකනදරාව ජලාශය 1959 දී ප්‍රති සංස්කරණයට ලක්වෙමින් මහා වාරිමාර්ග ජනපදයක් ලෙස අදියර දෙකකින් ගොවි පවුල් පදිංචි කර ඇති අතර ගොවි පවුල් 3100කින් ආරම්භ කළ මෙම මහා ව්‍යාපෘතිය වර්තමානයේ දී තුන්වෙනි පරම්පරාවේ පවුල් 15000කට ආසන්න පිරිසක් මේ මහකනදරාවේ මහ ජල කඳට පින්සිදු වන්නට බඩ වියත රැක ගනිමින් සිටිති. 1959 වර්ෂයේ දී කුඹුරු අක්කර 6100ක් වුව ද වර්තමානය වන විට කුඹුරු අක්කර 7500කට වඩා වැඩි ප්‍රමාණයකින් රටට පත සපයන්නට ඉදිරිපත්ව තිබේ.

අතීතයේ මේ ජලාශයට උපකාර පිණිස ඒරු වැවේ වාන් වතුර සීරාව ගලා එන්නට මගක්ද මහසෙන් රජ්ජුරුවන්ගෙ නුවණින් නිර්මාණය වී තිබුණි. ඒත් රණසිංහ ප්‍රේමදාස ජනපති යුගයේ ගම් උදා වැඩසටහනේ උදාගම්මානයක් එමග වසා ඉදිකිරීමෙන් මහකනදරාව හුදකලා ජලාශයක් බවට පත් වුණේය.එබැවින් මහකනදරාව ජලාශය පෝෂක වැවක් ඇළක් දිය සීරාවක් නැති අහස් වැස්සෙන්ම පමණක් පිරෙන හුදකලා මහා ජලාශයක් වී ඇත.

එබැවින් වසරකට කන්නයක් ගොවිතැන් කර ජීවිකාව සලසා ගන්නා ගොවීන්ට එම කන්නය සඳහාත් මදිවන මහකනදරා ජලය අනුරාධපුර උතුරු පානීය ජල ව්‍යාපෘතියට පවරා පාළු කෙත් බිම් දෙස කුස ගින්නේ බලා සිටින්නට වේදෝයි කනදරාව යටතේ ගොවිතැන් කරන ගොවීන් බිය වී සිටිති.එබැවින් ගොවීන් තුළ මෙම ව්‍යාපෘතියට විරෝධයක් පැණ නැගී ඇත.

එබැවින් ජල ව්‍යාපෘතිය මඟින් කනදරාව ජලාශයට අහිමි වන ජලය මොරගහකන්ද ජල යෝජනා ක්‍රමය මඟින් ලබා ගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වූවද ඒ සඳහා 2024 වර්ෂය දක්වා කල් ගතවන්නේ උමං ඇළ මාර්ගයන් ඉදි කිරීම සඳහායි.නමුත් මේ වන විට ජල පවිත්‍රාගාරයේ ඉදි කිරීම්, යන්ත්‍ර සූත්‍ර සවි කිරීම් හා නළ එලීම් කටයුතු අවසන් කර ඇති බැවින් එය ක්‍රියාත්මක කළ යුතු බව ජල සම්පාදන නිළධාරීන් පවසයි.නමුත් පවතින ජල හිඟය හේතුවෙන් ගොවිතැනට ඇති ජලය පානීය ජල අවශ්‍යතාවන් වෙනුවෙන් සපයා ගත හොත් ජීවිත කාළය පුරා සිදු කළ තම ගොවිතැන් පාලු වී යන බව ගොවීන් පවසති.

මේ සම්බන්ධයෙන් ගොවි නායකයින් හා සාකච්ජා කිරීම සඳහා රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා හා නිළධාරීන් මෙලෙස සාකච්ජාවක නිරත වූහ.
එහිදී අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා කියා සිටියේ,

මේ ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන කොට ගොවි ජනතාව පැත්තෙන් යම් යම් ප්‍රශ්න කීපයක් තියෙනවා, රාජාංගනය වැවෙත් මේ වගේම ප්‍රශ්නයක් තියෙනවා. මේ දෙකම කළමණාකරණය කර ගත්තොත් තමයි විසදුමක් තියෙන්නේ.මේ වතුර දෙන්නෙත් අපිටමනේ,වෙන කාටවත් නෙමෙයිනේ, අපේ ගමට වෙන්න පුලුවන් අල්ලපු ගමට වෙන්න පුලුවන්, අනුරාධපුර හරි කොහේ හරි පිරිසිදු වතුර ටිකක් බොන්න නැති මිනිස්සුන්ට තමයි මේ වතුර ටික ආපහු යන්නේ.මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන කොට දේශපාලඥයොයි, නිළධාරීනුයි, ගොවි මහත්වරුයි එක එක තැන් වල ඉඳලා තමයි කථා බහ කරලා තියෙන්නේ.

ඒ නිසා ජල සම්පාදන මණ්ඩලය සමඟ අපි සාකච්ජා කළාම ඒ අය එකඟ වුණා ගොවි ජනතාව කියන සාධාරණ ප්‍රශ්න වලට විසදුම් සොයන්න ඒ අයත් සහය දේනම් කියලා.ඒ අනුව තමයි මේ සාකච්ජාව පවත්වන්නේ යැයි පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලා ආසන සංවිධායක සරත් ඉලංගසිංහ, අමාත්‍යයතුමන්ගේ පෞද්ගලික ලේකම් කවින්ද දිසානායක ජල සම්පාදන හා වාරී මාර්ග දෙපාර්තමේන්තු නිළධාරීන්, ගොවි නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

More articles

Latest article